සීගිරිය ගැන කලින් කල කරළියට පිවිසෙන මාතෘකාවලින් අඩුවක් නොවේ. යහපාලන ආණ්ඩු කාලයේ මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරියට කේබල් කාර් දැමීමේ ව්‍යාපෘතියක් ගැන කළ සැලසුමක් ගැන අහන්නට ලැබුණි. ඉන් ඒ කාලයක රටේ ආන්දෝලනයක් හටගත්තේය. පසුගිය දිනෙක සංචාරක අමාත්‍යංශයේ ලේකම්වරයා පැවසූ පණ්ඩිත කතාවක් නිසා යළිත් සීගිරිය ගැන මාධ්‍යවල කතිකාවක් හටගත්තේය. සංචාරක අමාත්‍යංශ ලේකම් චූලානන්ද පෙරේරා මහනුවර පැවති උත්සවයකදී ප්‍රකාශ කළේ, ලෙෂර් පාර්ක් නොහොත් විනෝද උද්‍යානයක් ලෙස සීගිරිය භාවිතා කර ඇති බවට තොරතුරු අනාවරණය වන බවයි. සංචාරක අමාත්‍යංශ ලේකම් චූලනන්ද පෙරේරා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසුවේය.
“සංචාරක මධ්‍යස්ථානයක් හැටියට සීගිරි ගැන මුළු ලෝකෙම දන්නවා. නමුත් සීගිරිය ගැන නිවැරදි තොරතුරු ලෝකයට යන්නේ නෑ. සීගිරිය ලෝක පූජිත සංචාරක සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙස නම් කළත් ඒ පිළිබඳව හරි ක්‍රමවේදයක් නෑ. ඒ නිසා මේක හරි තත්ත්වයට දාන්නේ කොහොමද කියන එක ගැන සාකච්ඡා කරන්න. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත්, සංස්කෘතික අරමුදලත්, යුනිසෙෆ් එකේ නිලධාරීනුත් හැමදෙනාම ඒකරාශී වෙලා ඉතාමත්ම ධනාත්මකව සාකච්ඡාවක් පැවැත්වුණා. අපි හැමදෙනාම මේ සීගිරියට යනවා සීගිරිය බලකොටුවක් කියලා හිතාගෙන. සීගිරිය බලකොටුවක් වුණා නම් ඔච්චර ලස්සනට හදලා, ඔච්චර පොකුණු හදලා, ඔච්චර ලස්සන මල්වතු හදලා තියෙන්නේ මොකටද? ඇත්තටම සීගිරිය බලකොටුවක් නෙමේ සීගිරිය ලස්සන ලෙෂර් පාර්ක් එකක්. පේරාදෙණිය වගේම ලස්සනට විවේකයෙන් ඉන්න ඒ කාලේ තිබුණු ශ්‍රී විභූතියත් එකක් රජතුමා හදපු ලෙෂර් පාර්ක් එකක්. ඒ ගැන සනාථ වෙලා ඉවරයි.”
සීගිරිය ජාත්‍යන්තර සම්බන්ධතා පවා පැවැති බලකොටු නගරයක් බව ඓතිහාසික සහ පුරාවිද්‍යා සාධකවලින් ඔප්පු වූයේ කලකට පෙරදීය. ඉතිහාසඥයකු මෙන්ම පුරාවිදාඥයකුද වන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් කීවේ එම අදහසේ පදනමක් නැති බවයි.
"චූලානන්ද ලේකම්තුමා ඊයේ පෙරේදාවක කියලා තියෙන 'සීගිරිය ලෙෂර් පාර්ක් එකක් මිසක බළකොටුවක් නොවේය' කියන කතාව පදනම් විරහිතයි. සීගිරිය කියන්නේ බලකොටුවක් බව මෙතෙක් කරන ලද පර් යේෂණවලින් තහවුරු වෙලා තියෙනවා. එලෙසම මගේ පෞද්ගලික මතය වන්නේද සීගිරිය බලකොටුවක් බවයි."
සීගිරිය කාශ්‍යප රජ සමයේ ඉදිවූ බලකොටුවක් බවට ඉඟි කෙරෙන බොහෝ සාධකයන් ඓතිහාසිකව සිදුකළ කැණීම්වලදීද සොයාගෙන ඇති බව පැවසූ මහාචාර්ය අනුර මනතුංග ‘මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන්ද දිගු කාලයක් පුරා සීගිරිය පිළිබඳ පර් යේෂණ සිදුකළා. එම ගවේෂණය අවසානයේ එතුමා ප්‍රකාශ කර සිටියේ සීගිරිය බළකොටුවක් බවත්, එය අපට අයිති ඉතා අගනා පෞරාණික වස්තුවක් බවත් කියලයි’ යනුවෙන්ද සඳහන් කළේය.
සීගිරිය යන නම ලැබීමට මුල්වුණේ පර්වත බලකොටුවේ පිවිසුම් දොරටුව සිංහයකුගේ ස්වරෑපයෙන් ඉදිකොට තිබීම නිසයි. එම රූපයේ නටබුන් තවමත් මාලිගාවට නගින පඩිපෙළ පාදමේ දෙපැත්තේ ඇති යෝධ සිංහ පාදයන්ගෙන් අපට දැකගත හැකිය. දශක එකහමාරක පමණ කාලයක් සීගිරිය ශ්‍රී ලංකාවේ දේශපාලන කේන්ද්‍රය හෙවත් අගනුවර ලෙස භාවිත වූ බව මහාවංශය සඳහන් කරයි. දකුණු හා අග්නිදිග ආසියාවේ ඇති පළමු සහස්‍රයට අයත් සැලසුම් වූ නගර අතුරෙන් හොඳින්ම සංරක්ෂණය වී ඇති ස්ථානය සමහරවිට සීගිරිය විය හැකි බවට පුරාවිද්‍යාඥයෝ මත පළ කරති. සීගිරිය ආසියාවේ නගර නිර්මාණයෙහි සුවිශේෂ ස්ථානයක් හිමිකරගෙන ඇත්තේ චිත්තාකර්ෂණීය වටපිටාව, නිර්මාණාත්මක සැලැස්ම, සංරක්ෂිත තත්ත්වය ආදිය ඇතුළත් හේතු ගණනාවක් නිසායි. එය ලෙෂර් පාක් එකක් පමණක් වූවා නම් නගරයකට අවශ්‍ය ආරක්ෂිත විධි විධාන අවශ්‍ය වන්නේ නැත.
සීගිරිය පර්වතය වටා පිහිටි කඳු එහි ස්වභාවික ආරක්ෂක පවුරු ලෙස භාවිත කළ බවටද අදහස් ඉදිරිපත් වී තිබේ. එසේ සීගිරියේ බටහිර ස්‌වාභාවික ආරක්‌ෂක පවුර ලෙස සීගිරි ගලේ සිට කිලෝමීටර් 17ක් පමණ බටහිරින් පිහිටි ඉනාමළුව කන්ද භාවිත කර තිබේ. මෙය උතුරු හා දකුණු දිගට විහිදී යයි. මෙම කන්දට බටහිරින් මිරිස්‌ගෝනිඔය පිහිටා ඇත.
සීගිරි රාජධානියේ ආරක්‍ෂක කලාපය ලෙස වැදගත් වූයේ මීටර් 383.4ක් උසැති ඉනාමළුව නම් උස්‌බිම් ප්‍රදේශයයි. එයට දකුණින් මීටර් 300ක් පමණ උස් වූ කිතුල්හිටියාව නම් උස්‌බිම කලාපය දැකගත හැකිය. ආරක්‍ෂක සේනා තර කිරීමටත්, යුද කටයුතු නිරීක්‍ෂණය කිරීමටත් මෙම උස්‌බිම් ප්‍රයෝජනයට ගන්නට ඇති බව සැලකේ. සීගිරියේ ආරක්‌ෂක පවුරු ඉදිකිරීමේදී කළුගල් සහ ගඩොල් භාවිත කර තිබේ.
සීගිරිය ප්‍රධාන මළු තුනක් ලෙස පිහිටා තිබේ. මාලක උද්‍යානය, ශිලා උද්‍යානය සහ ජල උද්‍යානය ලෙසිනි. සීගිරියෙන් හමුවන නටබුන් අතර බලකොටුවකට අවශ්‍ය නොවන ඉදිකිරීම්ද දැකගත හැකිය. පොකුණු මැද පිහිටි සීතල මාලිගා, විනෝද උද්‍යාන, ජල තටාක ආදිය ඒවාය. ජල උද්‍යානය ආසන්නයෙන්ද සීතල මාලිගයක නටබුන් හමුව තිබේ. නමුත් මේ විනෝද අංග පිහිටා ඇත්තේ බලකොටු රාජධානිය ඇතුළතය. ඒවා මේ රාජධානියේ ප්‍රමුඛ අංග ලෙස සැලකිය නොහැකිය.
පිටතින්ම පිහිටි බලකොටු ප්‍රාකාරය උතුරු හා දකුණු දිගට විහිදී ගොස් උතුරු කොණෙන් නැගෙනහිරට වක්‍රාකාරයට ගමන් කරයි. පිටතින් ඇති මෙම පවුර පස්‌වලින් තනා ඇති අතර මැද පවුර ඉදිකර තිබෙන්නේ ගඩොල්වලින් හා ගල්වලිනි.
I කුසුම්සිරි විජයවර්ධන